තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
June 18, 2026 09:24 pm
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
සැකකාර පෙම්වතා ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු බවත්, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. ඒ හේතුවෙන් ඔහුව සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබේ.
සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත්, දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහය අවශ්‍ය බවත් පවසමින් කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (17) උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂාකර ඇතත් එහි කිසිවෙකුත් සිට නොමැත.
කෙසේ නමුත් සීසීටීවී දර්ශන පරීක්ෂාකිරීමේදී එහි සටහන්ව තිබී ඇත්තේ, ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50ට පමණ එම නිවසට අදාළ තරුණියගේ පෙම්වතා පැමිණෙන ආකාරයයි.
එහි මිනිත්තු 40ක් පමණ රැඳී සිටි අදාළ පුද්ගලයා පසුව රාත්‍රී 10.30ට පමණ සිහිසුන්වී සිටි තරුණිය ඔසවාගෙන ගොස් තිබේ.
පසුව ඔහු විසින් තරුණිය මෝටර් රථයක දමා රැගෙන ගොස් ඇත.
නුවරඑළිය පොලිසිය අදාළ තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති පසුබිමක, තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
එහිදී පවසා ඇත්තේ තෙල්දෙණිය රෝහල අසල රථගාලෙහි නවතා ඇති මෝටර් රථයක මියගිය කාන්තාවගේ මළ සිරුරක් ඇති බවය.
ඒ අනුව තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථයේ ඉදිරිපස මගී අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් වසා දමා තිබූ මළ සිරුර හමුව තිබේ.
අගුලු දමා තිබූ දොරටුව විවෘත කළ පොලිස් නිලධාරීන් මෘත ශරීරය ඉන් පිටතට ගනු ලැබීය.
එහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ සිරුර නුවරඑළියෙන් අතුරුදන් වූ තරුණියගේ බවටය.
ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි ඇය අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස සේවය කළ බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමා තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමද ලබාදී ඇති බවය.
ඔහු මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන අතර ඔවුන්, දෙදෙනා මීට මාස 8කට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.
අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබේ.
කෙසේවෙතත් මේ දක්වා විදේශගතවීම සිදුවී නොමැති පසුබිමක, ණයහිමියන් මුදල් නැවත ඉල්ලීම මත ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිට ඇති බවයි පොලිසිය පවසයි.
එවන් පසුබිමක ඇය නුවරඑළියේ පිහිටි නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ ඉකුත් ජූනි 3 වැනිදාය.
ඒ අතරතුර ඇය සිය සොහොයුරාට දුරකථනයෙන් අමතා තමන් දින 3ක් ආහාර ලබාගෙන නොමැති බව පවසා ඇති බවත්, අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් අමතා තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් පවසා ඇතැයි වාර්තා වේ.
එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ, කඩිනමින් ළඟම ඇති රෝහලට ගොස් මානසික වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසය.
කෙසේවෙතත් ඉකුත් 16 වැනිදා සවස 4න් පමණ පසුව ඇයගේ ඡංගම දුරකථනය ක්‍රියාවිරහිතව ඇති අතර, ඒ අනුව ඇයගේ සහෝදරයා නුවරඑළිය පොලිසියට පැමිණිලි කර ඇත.
වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ තරුණියගේ දේහය රැගෙන යාමට භාවිත කළ මෝටර් රථය, ඇයගේ පෙම්වතාගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි තවත් පෙම්වතියකට අයත් එකක් බවය.
මේ අතර දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.
ඒ අනුව පොලිසිය ඇයගේ පෙම්වතා වන දිනෙත් දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.
